7 Apr 2016

කොරියන් යන්නෝ ලොකු පඩි ගන්නෝ


කොරියාවට යැම සම්බන්ධයෙන් අපේ රටේ තරුණයන් අතර තිබෙන්නේ අති විශාල උනන්දුවකි. අයෑදුම්පතක්‌ ගැනීම සඳහා වුවද තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික තරගයක යෙදෙනු පෙනේ.

ඉනික්‌බිති කොරියන් "භාෂා ප්‍රවීනතාව" පරීක්‍ෂා කරන විභාගයට ලිවීමේ මහා යුද්ධයක්‌ තිබුණි. හැම පොත් සාප්පුවකම පාහේ කොරියන් භාෂාව ඉගෙනීමට අවශ්‍ය පොත පත තිබේ යෑයි දැන්වීම් දොරකඩ එල්ලා තිබෙණු දක්‌නට ලැබේ.

තරුණයෝ ඒ පාඩම් මලා මිල මුදල් ගෙවා රැගෙන ගොස්‌ පාඩම් කළහ.

සිංහල ඉගෙන ගන්නවාට කොරියන් ඉගෙන ගන්නට යැම ගැන සිංහල භාෂා ප්‍රේමීන් සිනහ සෙන්නට ඇත.

නමුත් සිංහල ඉගෙනීමෙන් ඇති ඵලය කුමක්‌ද? වැඩිමනක්‌ වුවහොත් විශ්වවිද්‍යාලයක සිංහල අංශයේ කථිකාචාර්ය හෝ මහාචාර්ය පදවියක්‌ ලැබිය හැක.

නමුත් කොරියන් බස ඉගෙන ගෙන කොරියාවට ගොස්‌ කම්කරුවකු ලෙස වැඩ කිරීමෙන් සිංහල අංශයේ මහාචාර්යවරයකු ගන්නා වැටුපට වඩා ඉතා ඉහළ වැටුපක්‌ ලබාගත හැකි වෙයි.

ඇතැම්විට කම්කරුවකු කොරියාවේ වැඩ කිරීමෙන් ලබන වැටුප මසකට රු. ලක්‍ෂ 3 ක්‌ විය හැක. සිදත් සඟරාවේ සිට මිලින්ද ප්‍රශ්නය, කව් සිළුමිණ, කුසදාකව, බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව ආදී වශයෙන් පස්‌ වන හය වන ශත වර්ෂ වලදී ලියෑවුණු පොත පරිශීලනය කරමින් විභාග සමත්ව පාසල් ගුරුවරු ලෙසද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ලෙසද ලබන වැටුප කොරියන් බස යන්තම් හදාරා කොරියාවට ගොස්‌ කම්කරු වැටුපක්‌ ලෙස රු. ලක්‍ෂයක්‌ දෙකක්‌ ලබා ගැනීම කදිම කාරණයක්‌ නොවේදැයි කෙනෙකු සිතන්නට පුළුවන.

සිංහල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා දැනුමෙහි පිහිටා ලබන වැටුපට වඩා දැනුමකින් තොරව කොරියන් භාෂාවේ කට වචන ඉගෙනුමෙන් ලබන වැටුපේ විශාලත්වය අපට බොහෝ කාරණා කියා දෙයි.

සැබවින්ම ඒ කාරණාවලට ඇහුම්කම් දිය යුතුයි. කොල්ලන් කොරියන් යන්නේ ඇයි දැයි හඬට කන් දිය යුතුය.

කලකට පෙර ජපානයට යනු පිණිස මෙවැනිම තරගයක්‌ තිබුණි. ජපානයේ කම්කරුවකුට විශාල වැටුපක්‌ ලැබිණි. මගේ ජපාන අත්දැකීමේ හැටියට මෙයින් දස වසරකට පමණ පෙර කම්කරුවකු ලෙස වැඩකිරීමෙන් මසකට රු. ලක්‍ෂයකට වඩා වැඩි වැටුපක්‌ ගත හැකිවිය. (අද එම වැටුප ඊට වඩා ඉතා විශාල විය හැක.) විදේශ කම්කරුවන්ගේ අති විශාල සංක්‍රමණය නිසාම දැන් ජපානයට යැම ඉඳිකටු සිදුරින් රිංගීමක්‌ බඳුය.

හොඳ පඩි ගැනීම සඳහා තිබුණු හොඳම රටක්‌ වූ ජපානය අතහැර දැන් ශ්‍රී ලංකා තරුණයෝ කොරියාවට දුවමින් සිටිති.

මට කිසිවකුත් කොරියාවට යෑවිය නොහැක.

නමුත් කොරියාව ගැන යමක්‌ කිව හැක.

කලකට පෙර අපේ ගම්වල ඉතා දුගී ජනයා ජීවත් වූ බිම්කඩවල් හැඳින්වූයේ "කොරියාව" නමිනි. යන්තමට ඉටි රෙදි කැබැල්ලක්‌, ටකරමක්‌ අටවා ගත් පැල්පත් වල සමූහ ලෙස ජීවත් වූ ප්‍රදේශ එකල හැඳින්වූයේ "කොරියාව" නමිනි. අදටත් ඇතැම් නාගරික පෙදෙස්‌වල "කොරියාව" නමින් හඳුන්වන පෙදෙස්‌ නැතුවා නොවේ.

කෙසේ වෙතත් මේ කියන නමින් හැඳින් වූයේ දුගී දුප්පත් ප්‍රදේශය යන සිත අරුත් දෙන්නක්‌ විය යුතුය.

එවිට අධ්‍යාහාරයෙන් කියෑවෙන්නේ එකල කොරියාව යනු දුප්පත් රටක්‌ යන්න නොවේද?

ප්‍රශ්නය වන්නේ එදා අප එලෙස හැඳින්වූ "දුප්පත්" කොරියාවට යන්නට මෙතරම් දඟලන්නේ ඇයිදැයි යන්නයි.

ඉතා ඈත අතීතයේ කොරියාව තිබුණේ දුප්පත් රටක්‌ විදියටය. නමුත් කොරියාවේ දෛවය වෙනස්‌ කළේ යුද්ධයක්‌ විසිනි. 1950 දී උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයක්‌ද හට ගැණිනි.

ලෝකයේ යුද්ධයක්‌ සිදුවන්නේ කොතැනකද? ඊට මැදිහත්වීම අද මෙන්ම එදාද ඇමරිකාවේ සිරිත විය.

ඒ අනුව ඇමරිකාව සහයෝගය දුන්නේ දකුණු කොරියාවටය. උතුරු කොරියාව අනුගමනය කළේ සමාජවාදී ප්‍රතිපත්තිය.

ඉතිහාසය තුළ බොහෝ කුඩා රටවල් වෙනත් බලවත් රටවල යටත් විජිත බවට පත්ව සිටියහ.

ඒ අනුව කොරියාව සිටියේ ජපානයට යටත්වය. දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකාවට යටත්ව සිටි ජපානය නිදහස ලබනවාත් සමගම කොරියාවද නිදහස්‌ රටක්‌ බවට පත්විය.

ඇමරිකාව හැමවිටම සොයන්නේ තමන්ගේ කඳවුරක්‌ පිහිටුවිය හැකි රටක්‌ය. බෙදා වෙන් කරන ලද දකුණු කොරියාව ඇමරිකන් හමුදාවන්ට සුදුසු වාසභූමියක්‌ විය.

තමන්ට පක්‍ෂපාතී රටක්‌ හදාවඩා ගැනීමට ඇමරිකාව නොමසුරුව ආධාර කරයි.

ඒ අනුව ඇමරිකාව ද. කොරියාවට මුදල් හදල් වලින් බොහෝ සේ ආධාර කළේය. ඇමරිකන් හිතවාදී වූ ජපානයද තමන් යටතේ තිබූ රාජ්‍යයට ආධාර කළේය.

අතීතයේදී අනුන්ගේ ආධාර වලින් යෑපෙන රටක්‌ව තිබූ ද. කොරියාව දියුණුව කරා ගමන පටන් ගනු ලැබුයේ තමන්ගේ රට තුළ භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමෙනි.

ඒ නිෂ්පාදන වූ කලී අපේ රටේ මෙන් කොස්‌සක්‌, පාපිස්‌සක්‌ හැදීම වැනි ලුහුඬු වැඩ නොවේ. ඔවුන් හැදුවේ නැව් කාර් වැනි මහා පරිමාණ භාණ්‌ඩය. ලොව පුරා ප්‍රචලිත ව්‍යාපාරයක්‌ වන "සැම්සුන්" කොම්පැණිය කොරියන් සමාගමකි.

කොරියාව පළමුවෙන් කළේ ජපානය වැනි රටවල නිෂ්පාදන තම රටේ කාර්මිකයන් ලවා හැදීමේ "සබ් කන්ට්‍රෑක්‌" වැඩය. නමුත් දැන් ඔවුන් තමන්ගේම වෙළෙඳ නාමයන් යටතේ භාණ්‌ඩ නිෂ්පාදනයේ යෙදී සිටිති. 2010 වසරේදී ලොව විශාලතම අපනයනකරුවන් අතර කොරියාව සිටියේ 7 වැනි ස්‌ථානයේය. ඔවුන්ගේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බි. 460 කි.

එයින් හැඟවෙන්නේ තම රට තුළ නිෂ්පාදනය කරමින් පිටරට යවන භාණ්‌ඩ ප්‍රමාණය බොහෝ සේ වැඩි බවයි. ආර්ථික ශක්‌තිය අතින් ලෝකයේ 15 වැනි රට ඔවුන්ය.

රටක පොහොසත් බව මනිනු ලබන එක්‌ නිර්ණායකයක්‌ වන්නේ ඒ රට තුළ නිෂ්පාදනය කොතෙක්‌ වේද යන්නයි. පිටරට වෙළෙඳපොළට ඔවුන් කොපමණ ප්‍රමාණයක්‌ නිෂ්පාදනය යවනවාද යන්නයි.

ද. කොරියාව ලෝක ආර්ථිකය තුළ අද 15 වැනි ස්‌ථානයක සිටින රටක්‌ බවට පත්ව ඇත්තේ තමන්ගේ රටේ භාණ්‌ඩ නිෂ්පාදනය කොට පිටරට යෑවීමෙනි.

කලකදී ඇමරිකාවේ ජපානයේ ආධාර වලින් ජීවත් වූ කොරියාව අද ලොව කිසිදු රටකින් එක වොං එකක්‌ වත් ණයට නොගෙන ස්‌වයංව නැගී සිටින රටකි.

තත්ත්වය කොතෙක්‌ යහපත්ද යත් අද ද. කොරියාව සිටින්නේ සංවර්ධිත රටවල නාම ලේaඛනයේය. අද ඔවුන් පිට රට වලට ණය දෙන රටකි.

අද ඔවුන් තම රටේ පැක්‌ටරිවල වැඩට මිනිසුන් ගෙන්වා ගන්නේ පිටරට වලිනි. අපේ රටේ තරුණයන්ට කොරියන් යන්නට අවස්‌ථාව ලැබී ඇත්තේ ඒ ආකාරයෙනි.

මේ සටහන අවසන් කරන්නට පෙර නැගිය යුතු සිතිය යුතු ප්‍රශ්නයක්‌ තිබේ.

අප හැමදාමත් පිටරටවලට දුක්‌විඳ කීයක්‌ හෝ සොයා ගන්නා දීන රටක්‌ වශයෙන් තවදුරටත් සිටිය යුතුද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
මෙම ලිපිය ඉරිදා  දිනමින පුවත් පතින් උපුටා ගන්නා ලද ලිපියක් බව කරුණාවෙන් සලකන්න.

  • අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  • මෙවැන ලිපි ඉක්මන්නින් දැනගන්න මෙතනින් පිවිස අපේ Facebook Page එකට ලයික් කරන්න.නැතිනම් පහතින් අපේ Facebook Page එකට ලයික් කර හැක.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
  • ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.

0 comments:

Post a Comment